Archive for the ‘Freedom of Education’ Tag

නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනයේ නිදහස සහ The Big Picture   Leave a comment

පෙරවදන

මා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් එක වසරේ සිට උසස් පෙළ දක්වාත් ඉන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ලැබීමට වාසනාවන්ත වූ අතර ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි විවිධ ආර්ථික මට්ටම් වලින් යුතු පවුල් වලින් පැමිණි සිසුන්ගේ ජීවිත අත්දකින්නට වාසනාවන්ත වීමි. ඉන් පසුව කොළඹ ආශ්‍රිත පෞද්ගලික ආයතනයන් වල රැකියා කරමින් ඉතා විශාල අධ්‍යාපනික මට්ටම් පරාසයක සිටි පිරිසක් ඇසුරු කලෙමි. ඉන් පසු වර්තමානයේ දුෂ්කර යයි සම්මත ප්‍රදේශයක රාජ්‍ය අංශයේ රැකියාවක නියැලෙමින් විවිධ ජාතීන් වලට අයත්, විවිධ ආගම් අදහන සහ විවිධ භාෂා කථා කරන විවිධාකාර සමාජීය හා ආර්ථික පසුබිම් වලින් යුතු පිරිසක් ඇසුරු කරමි. මට හමුවී ඇති පුද්ගලයන්ගෙන් මේ දිනවල විවාදයට බඳුන් වෙන සයිටම් ආයතනය ගැන දක්වන අදහස් අනුව ප්‍රධාන කණ්ඩායම් කීපයක් සිටිති.

1. පෞද්ගලික අධ්‍යාපන ආයතන නොතිබිය යුතුය යන මතය දරන්නන්
2. කොන්දේසි විරහිතව සයිටම් ආයතනයට සහය දක්වන්නන්
3. පෞද්ගලික අධ්‍යාපන ආයතනයන්ට විරුද්ධත්වයක් නැති මුත් ඒවායේ ප්‍රමිතිය නියාමනය විය යුතුය යන මතය දරන්නන්

මා මින් තෙවැනි කොටසට අයත් වන අතර මෙම ලිපිය ලිවීමේ අරමුණ මේ සම්බන්දව සාමාන්‍යයෙන් කතා නොවනා නමුත් මා හට අත්දකින්නට ලැබුණු හා පිළිතුරු නොලැබුණු ප්‍රශ්ණ කීපයක් ඔබගේ අවධානයට යොමු කිරීමයි.

නිදහස් අධ්‍යාපනය

බොහෝ දෙනෙකුට අමතකවුවත් 1945 දී C W W කන්නංගර මහතා විසින් ගෙන එන ලද නිදහස් අධ්‍යාපන පණතින් පසුව ඉපදුණු අතිමහත් බහුතරයක් ශ්‍රී ලංකාවාසීන් වන අප නිදහස් අධ්‍යාපනයේ ප්‍රථිපල බුක්තිවින්දෙමු. විශ්ව විද්‍යාල සිසුන් මහා මග කරනා උද්ගෝෂණ දුටු විට මහජන මුදල් විනාශ කරන්නේ යයි නිගමනයකට එළඹ ද්වේශ සහගත සිතින් ඔවුන් දෙස බැලීමට ප්‍රථම ඔබ හට එක වසරේ සිට උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ දක්වා නිදහස් අධ්‍යාපනයේ සෙවනේ හිඳින්නට දහදිය මහන්සියෙන් උපයන සොච්චමෙන් බදු ගෙවූ ඒ මිනිසුන්ට ඔබ සාධාරණයක් ඉටුකලේද යන්න හොඳින් සිතා බලන්න. අඩුම තරමින් ඔවුන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට තරම් හොඳින් උසස් පෙළ විභාගය සමත්වී රටට අනාගතයේදී ආයෝජනයක් වන බව පෙන්වීම තුලින්ම එම ණය යම් තාක් දුරකට ගෙවා ඇත. (විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම යනු මුළු ජීවිතයම වන බව මින් මා අදහස් නොකරන අතර විශ්ව විද්‍යාල වරම් නොලැබුවත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හෝ නීතීඥයන්ටත් වඩා සුවිශේෂී මෙහයක නිරත වෙමින් තමන් ලද නිදහස් අධ්‍යාපනයට සාධාරණයක් ඉටු කරන්නන් බොහොමයක් දෙනා මා දිනපතා අත්දකිමි.)

නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට පෞද්ගලික පාසැල්  හා අර්ධ රාජ්‍ය පාසල් වල එක සිසුවෙකු වෙනුවෙන් කාර්තුවකට අය කරනා මුදලවත් මාසිකව උපයාගත නොහැකි බොහෝමයක් දෙමාපියන්ගේ දරුවන්ට සිදුවනුයේ අත්සන වෙනුවට තාමත් ඇඟිලි සලකුණ තබන්නටය. යම්තාක් දුරකට මාසික ආදායමක් ඇති දෙමාපියන්ට සිදුවනුයේ තමන්ගේ දරුවන් අතරින් වියදම් කර අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන දරුවාටදැයි තීරණය කරන්නටය. එබැවින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටි අවස්ථාවක කඳුළු ගෑස් හා ජල ප්‍රහාර කෑ විශ්ව විද්‍යාල සිසුන් දැක හෝ රූපවාහිනියේ එම සිදුවීම රසකර කියනා කතාව අසා “උන්ට හොඳ වැඩේ” කීමට පෙර  ඔබ මාසෙකට උපයන ආදායමෙන් ඔබේ දරුවන්ට පාසල් අධ්‍යාපනයත් ඉන් පසු තෘතීයික අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුවක් ලබාදීමට හැකි දැයි මදකට කල්පනා කරන්න.

තෘතීයික අධ්‍යාපනය තුලදී “නිදහස් අධ්‍යාපනය” ගැන වැඩිපුර කතා වුවත් මා දකිනා විශාලතම අසාධාරණය සිදුවනුයේ පාසැල් සිසුන්ට ය.
අන්තර්ජාලය තුලින් මෙම ලිපිය කියවන ඔබ, පාසලේ මාසික විදුලි බිල ගෙවා ගැනීමට ප්‍රතිපාදන හිඟ කමින් පීඩාවට පත්වන විදුහල්පතිවරුන් සිටින බවත් එම නිසා පරිගණක එකක් හෝ දෙකක් ඇති උවත් පරිගණක විද්‍යාගාරයේ දොරවල් අගුලු ලා තබන පාසල් ලංකාවේ ඇති බවත් දැන  සිටියාද?
ඔබේ දරුවා පාසලින් දුන් ගෙදර වැඩ කළාදැයි සොයා බලන ඔබ, වෙන කල හැක්කක් නොමැති නිසා තම දෙමාපියන්ට හේනේ හෝ කුඹුරේ වැඩටත් මැණික් පතලේ වැඩටත් අත් උදව් දීමට සති කීපයකට පාසල් යාම මඟ හරිනා දරුවන් තවමත් ලංකාවේ සිටින බව දැන  සිටියාද?
තාක්ෂණ විෂයන් සඳහා දරුවාට උපකාර පන්තියක් සොයන ඔබ, ගුරුවරු නොමැතිකමින් මුලු පාසල් කාලයේදීම ඉංග්‍රීසි, ගණිත හෝ විද්‍යා විෂයන් සඳහා වෙන්වූ ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය නොලැබූ සිසුන් ලංකාවේ සිටින බව දන සිටියාද?
පාසල් වෑන් රථයේ දරුවාට සිරවී වාඩිවීමට සිදුවීම ගැන කනස්සලු වන ඔබ, දිනකට කිලෝමීටර් 3ක් 4ක් පා ගමනින් පාසැල් යන දරුවනුත් පාගමනින් යා නොහැකි තරම් දුරින් ජීවත් වන තම ගමට ඇති එකම බසය ප්‍රමාද වීම නිසා මසකට දින දෙක තුනක් පාසැල් යාම මගහැරෙනා දරුවනුත් තවමත් ලංකාවේ සිටින බව දන සිටියාද?

දුෂ්කර පාසැල් නොවූවද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට නියමිත විෂය නිර්දේශය අදාළ කාලයේදී සම්පුර්ණ නොවන අවස්ථා එමට ඇත. එසේ වෙනවා නම් සෑම දරුවෙකුම උපකාරක පන්ති යාමට උවමනා යයි ඔබ සිතනවාද? (බොහෝ අවස්ථාවන්හිදී එය එසේ වූවත් උපකාරක පන්ති යනු අත්‍යවශ්‍ය අංගයක් යන රැල්ලට යට නොවූ, තම උපකාරක පන්තියේ සිසුන්ට දීමට සැකසූ සටහන් සහ ප්‍රශ්ණ පත්‍ර පවා තම රැකියාව කරන පාසලේ දරුවන්ගේ නැණස පෑදීමට යොදාගන්නා ගුරු දෙවිවරුන්ගෙන්ද මා අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූවෙමි.) වෛද්‍ය, ඉංජිනේරු හා නීතීඥය වැනි රැකියාවන් කීපයක් කරා පමණක්  ඉලක්කගතවූ අධ්‍යාපන ක්‍රමය නිසා එම අවස්තාවන් නොලබන දරුවන් (බහුතරයක්) තමා එතෙක් ලද අධ්‍යාපනයෙන් කල හැකි වෙනත් රැකියාවක් නොමැතිව ලත වෙනු දැක දැකත් ඒ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය ගැන අප ප්‍රශ්ණ නොකරමු.

අධ්‍යාපනයේ නිදහස

ඔබ රජයේ විශ්ව විද්‍යාලයක හෝ වෙනත් රජයේ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන්නෙක්/ලැබුවෙක් නම් නැවත ඔබගේ/ මිතුරන්ගේ උසස්පෙළ ප්‍රථිපල හෝ  z අගය මතකයට නගා ගන්න. දිස්ත්‍රික් පදනම නිසා ඔබගේ අගයට වඩා උසස් ප්‍රථිපල තිබුනත් නිදහස් අධ්‍යාපන වරම් අහිමිවූවන් කොපමණ සිටින්නට ඇත්ද? (අධ්‍යාපනයට ඇති දුෂ්කරතා මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා යම් සහනයක් සැලසීමට මා විරුද්ධ නොවෙමි. එහෙත් එම සහනය ප්‍රාදේශීය වශයෙන් නොව දිස්ත්‍රික් පදනමෙන් ලබා දීම කෙතරම් දුරට සාධාරණද යන්නත්, ඉගෙන ගැනීම හා ජීවත් වීම පහසුකම් සහිත දිස්ත්‍රික්කයක සිදුකරනා නමුත් එම අවස්ථාව මුල් කර ගනිමින් දුෂ්කර පාසල් වලින් උසස් පෙළට පෙනී සිටින අතලොස්සක් ගැනත් සිතා බැලීම ඔබට ඉතිරි කරමි.)

උසස් පෙළ z අගය දශම ගණනකින් අඩු වීම නිසා විශ්ව විද්‍යාල වරම් අහිමි වුවන්ට තව දුරටත් ඉගෙනීමට අයිතියක් නැතැයි ඔබ තීරණය කරන්නේ නම් එය කොතරම් දුරකට සාධාරණද? උසස් පෙළ z අගය දශම ගණනකින් අඩු වීම නිසා විශ්ව විද්‍යාල වරම් අහිමි වුවත් පුද්ගලික තෘතීයික අධ්‍යාපන ආයතනයන්ගෙන් මුදල් ගෙවා ඉගෙන ගත් එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් තරම්ම (සමහර අවස්තාවන් වල ඊටත් වඩා) හොඳින් දැනුමින් සහ ආකල්ප වලින් පොහොසත් උපාධිධාරීන් බොහොමයක් සමග මා රැකියා කර ඇත්තෙමි. එමෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබූ එහෙත් ආකල්ප වලින් දුර්වල උපාධිධාරීන්ද මා  අත්දැක ඇත්තෙමි.

ඔබ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්නන් “සල්ලිකාරයින්” ලෙස වර්ගීකරණය කරන්නෙක් නම්, තාවකාලික හෝ අමතර රැකියාවල නියැලෙමින් තම අධ්‍යාපන වියදම සොයා ගන්නා සිසුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලත් සිටින බව දන සිටියාද? ඇතුලත් වීමේ ගාස්තු සහ පළමු සමාසිකයේ වියදම දරා එයට ඇතුලත් වී ඉන් පසු උපාධිය ලබා ගන්න තෙක් දක්ෂතම ශිෂ්‍යාට හිමි සම්පුර්ණ ශිෂ්‍යත්වය දිනාගන්නා සිසුන් සිටින බව දන සිටියාද?

නැවතත් අප පාසැල් සිසුන් වෙත අවධානය යොමු කරමු. අධ්‍යාපනයේ නිදහස ගැන කතා කරන ඔබ, ඔබේ දරුවාට පාසලේ ක්‍රීඩා සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් වල නියැලීමට කොපමණ නිදහසක් ලබා දෙනවාද? සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන් හෝ උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීමේදී කොපමණ නිදහසක් ලබා දෙනවාද? තම දෙමාපියන්ගේ උවමනාවට ජීව විද්‍යා හෝ ගණිත විෂය ධාරා හදාරන එහෙත් සිතින් කලා හෝ වාණිජ විෂයන්ට පෙම් බඳිනා සිසුන් බොහෝදෙනෙකු මා දැක ඇත්තෙමි.

රැකියා කීපයක් කේන්ද්‍ර කර ගත අධ්‍යාපන ක්‍රමයක සිරවී සිටිනා අප, ඒ රාමුවට කොටුවී තවෙකෙකුට අධ්‍යාපනයට ඇති අයිතිය විනිශ්චය කිරීමට උත්සාහ ගත්තද, තම දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණින් පමණක් අධ්‍යාපනය ලබනා කෙනෙකුද සිටිය හැකි බව අමතක කරමු.

උසස් පෙළ නමැති කඩුල්ල තරණය කර ඉලක්කගත රැකියාවක් ලබා ගැනීමට එක වරම නොහැකි උවද, පසු කාලීනව නිසි අධ්‍යාපන මට්ටම සම්පුර්ණ කර සහ අත්දැකීම් මට්ටම මගින් එම රැකියාවන්ට උසස් වීම් ලබාගැනීමට හැකි වෘත්තීය මාවතක් සැකසීමේ සහ තත්වය නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් මා දකිමි. ඒ සඳහා අපක්ෂපාතී, මුල්‍ය අරමුණුවලින් තොර පාලක මණ්ඩලයක අවශ්‍යතාවයද මා දකිමි. ශ්‍රී ලංකාවේ දැනට වෛද්‍ය වෘත්තීය සඳහාත්, ඉංජිනේරු වෘත්තීය සඳහාත් එසේ පාලක ආයතන පැවතුනද ඒවා තවත් දියුණු කල හැකි අවස්ථා ඕනෑ තරම් මා දකිමි, ඔබත් දකින්නේ යයි විශ්වාස කරමි.

The Big Picture

තම අයිතිවාසිකමක් දිනාගැනීමට උද්ගෝෂණයක් කිරීමේ කිසිදු වැරද්දක් මා නොදකිමි. නමුත් තම ඉල්ලීම දිනාගැනීමේ සටනේදී තවත් කෙනෙකුගේ මුලික අයිතිවාසිකමක් කඩ වන්නේ නම් අපත්, අප විරෝධය පානා අධිකාරියත් අතර වෙනසක් තිබේද?

වෘත්තීයමය වශයෙන් යම් දේශපාලන මතයකට සහය දැක්වීමට වෙනම සංගමයක් පැවතීමේ වැරද්දක්  මා නොදකින නමුත්, යම් වෘත්තීකයන් පිරිසක් හෝ ශිෂ්‍ය ප්‍රජාවක් නියෝජනය කරනා සංගමයක් දේශපාලන මතයක් උදෙසා පෙනී සිටීමේත්, දේශපාලකයින් තම පටු අරමුණු උදෙසා එවැනි සංගමයක් දරනා මතයක් යොදාගන්නේත් නම් ඔවුන්ගේ ඇති වෘත්තීයමයභාවය කුමක්ද?

එමෙන්ම දැනට පවතින පාලන අධිකාරිය මගින් නියමිත ගුණාත්මකභාවයෙන් තොර බව ප්‍රකාශකරනා විට තමන් ගෙවූ මුදලට සරිලන ගුනාතමකභාවය ලබා නොදෙනා අධ්‍යාපන ආයතනයට විරුද්ධව නොව එම ආයතනය ගුණාත්මක නොවනා බව ප්‍රකාශ කරනා අධිකාරියට විරුද්ධව කටයුතු කරනා කෙනෙකුගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක්ද?

තමන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලබනා කෙනෙකු සම්මත පොදු විභාගයකින් තොරව තමන්ම පවත්වන විභාගයකින් පසුව වෘත්තීකයෙකු ලෙස ප්‍රකාශ කිරීම කෙතරම් විශ්වාසනීයද?

දැනට පවතින පාලන අධිකාරියෙන් පුන පුනා ගුණාත්මක නොවන බව පවසනා අතරතුරේදීත්, මුල්‍යම පරමාර්ථ උදෙසා තවදුරටත් සිසුන් ඇතුලත් කර ගන්නා ආයතනයක් කෙතරම් විශ්වාසනීයද?

අධ්‍යාපන ආයතනයක ගුණාත්මක බව තීරණය කරනා කමිටුවක් පත් කරනා විට එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ඥාතී අමාත්‍යවරුන් එහි සිටී නම් එම කමිටුවේ තීරණ ගැන කොපමණ දුරකට මහජනයාට විශ්වාස කල හැකිද?

වැසිකිළි පිරිසිදු කරනා දියරයක් මිලදී ගන්නා විටදීත් ගුණාත්මක බව හා කල්ඉකුත්වීමේ දිනය බලනා අති බහුතරයක් ජනතාව තම ජීවිතය පිලිබඳ වගකීමක් වෛද්‍යවරයෙකුට දීමේදී ඔහුගේ/ඇයගේ ගුණාත්මක බව පිළිබඳව අනාගතයේදී නොසලකා සිටී යයි සිතිය හැකිද?

අවසාන වශයෙන්,
ප්‍රශ්ණයට පිළිතුරක් සෙවීම උදෙසා විවෘත මනසකින් බුද්ධිමය සංවාදයක් වෙනුවට එකිනෙකාගේ පුද්ගලික මතයන් උදෙසා ඇනකොටා ගන්නා, අපහාස කරගන්නා අපගෙන් (ඔබද මාද ඇතුළුව) රටට වැඩක් වේ යැයි සිතිය හැකිද?

 

Advertisements